රාජ්‍ය මූල්‍ය දත්ත හා විශ්ලේෂණයන් සඳහා
නිදහස් හා විවෘත ප්‍රවේශය
data-chart
මහජන මුදල්වලින් 89%ක්ම වෙන් කර තිබූ අයවැය පොරොන්දුවල ප්‍රගතිය ගැන කිසිම තොරතුරක් නැහැ: වෙරිටේ රිස්ර්ච්

2023 අයවැය කතාවට ඇතුළත් කර තිබූ වටිනාකම වැඩිම වියදම් යෝජනා 25ට රුපියල් බිලියන 49.3ක මුදලක් ප්‍රතිපාදන වශයෙන් වෙන් කර තිබිණ. නමුත්, එම මුදලින් රුපියල් බිලියන 43.8ක (එනම් 89%) මුදලක් වෙන් කර තිබූ අයවැය පොරොන්දුවල ප්‍රගතිය ගැන තොරතුරු ලබාදීමට රජය අපොහොසත්ව ඇති බව වෙරිටේ රිසර්ච් සිදුකරන වාර්ෂික අයවැය ප්‍රගති සමාලෝචනයෙන් අනාවරණයව ඇත. 

තොරතුරුවල තත්ත්වය 

2022 වසරේදීද, අයවැය ප්‍රතිපාදනවලින් 93%ක්ම වෙන්කර තිබූ පොරොන්දුවල ප්‍රගතිය ගැන කිසිදු තොරතුරක් එම වසරේ දී සොයාගැනීමට නොතිබිණ. 2017 වසර සිට සැලකූ විට, අයවැයෙහි ඇතුළත් වැඩිම වටිනාකමක් සහිත පොරොන්දුවල ප්‍රගතිය සම්බන්ධයෙන් වන තොරතුරු සොයාගැනීමට ඇති හැකියාව අඩුම මට්ටමක පැවතුණේ ගෙවුණු වසර 2ක කාලයේදී  ය. 

2023 වසරේ පොරොන්දු 25 හි වටිනාකම (වෙන් කල මුදල) නොව එම පොරොන්දු ගණන පමණක් සැලකිල්ලට ගතහොත්, ඒවායින් පොරොන්දු 18ක (72%) ප්‍රගතිය මැනීමට තරම් තොරතුරු ප්‍රමාණයක් පැවති බව සඳහන් කළ යුතුය. අඩුම තොරතුරු ප්‍රමාණයක් හෙළිදරව් කර තිබූ 2022 වසරේ සිට ගත් විට එය පැහැදිලි වර්ධනයකි. එම වසරේ විමසුමට ලක් කෙරුණු අයවැය පොරොන්දු 24න්, ප්‍රගතිය මැනිය හැකි පමණට තොරතුරු තිබුණේ අයවැය පොරොන්දු 7ක පමණි. එය ප්‍රතිශතයක් ලෙස 29%ක් විය.  

එහෙත් පොරොන්දු ඉටු කිරීමට වෙන්කළ මුදල සලකා බැලුවොත්, 2023 වසරෙහි තත්වය පිළිබඳ සෑහීමකට පත්විය නොහැක. ප්‍රගතිය මැනීමට තරම් තොරතුරු පැවති අයවැය පොරොන්දු 18ට අදාළ මුළු වටිනාකම රුපියල් බිලියන 5.4ක් පමණක් වූ අතර එය සමස්ත මුදලින් 11%ක් වැනි සුළු ප්‍රමාණයකි. 

විශේෂයෙන්ම, සමාජ ආරක්ෂණ වැඩ සටහන් සම්බන්ධයෙන් ලබා ගත හැකි තොරතුරු ප්‍රමාණය ඉතා අඩු මට්ටමක පවතින අතර, ගෙවුණු වසර දෙකක කාලයේ අයවැය තුළින් වැඩිම මුදලක් වෙන්කර ඇත්තේ ද ඒවාට ය. 2022 වසරේ රුපියල් බිලියන 26.8ක් ද, 2023 වසරේ රුපියල් බිලියන 43ක් ද, එසේ වෙන්කර තිබෙන අතර, එම පොරොන්දුවල ප්‍රගතිය සම්බන්ධයෙන් තොරතුරු ප්‍රසිද්ධ කිරීමට රජය 2022 සහ 2023 යන වසර දෙකෙහිම අපොහොසත්ව ඇත. 

මෙසේ පවතින තොරතුරු හිඟය විවෘත අයවැය සමීක්ෂණය (Open Budget Survey – OBS) යටතේ ශ්‍රී ලංකාව ලබාගෙන ඇති ලකුණුවලින් ද පිළිබිඹු වන්නකි. තොරතුරුවල විනිවිදභාවයට (තොරතුරු ලබා ගත හැකි වීම, ඒවායේ තත්ත්වය සහ කාලානුරූපීව ප්‍රසිද්ධ කර තිබීම යටතේ මැනෙන) 2023 වසරේ ශ්‍රී ලංකාවට ලැබී ඇත්තේ ලකුණු 100කින් 37කි. එය ගෝලීය සාමාන්‍ය අගය වන 45ට වඩා බෙහෙවින්ම අඩු ය. විවෘත අයවැය සමීක්ෂණය යනු මධ්‍යම රජයන්වල අයවැය තොරතුරුවලට මහජනතාවට කොතරම් පහසුවෙන් ප්‍රවේශ විය හැකිද යන්න සංසන්දනාත්මකව මැන බලන ලොව එකම ස්වාධීන සමීක්ෂණය යි. 

ක්‍රියාත්මක කිරීමේ තත්ත්වය 

පොරොන්දු ගණන අනුව සැලකූ විට 2023 වසරේ සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කර ඇත්තේ 16%ක් (පොරොන්දු 25න් 4ක්) පමණකි. ක්‍රියාත්මක නොකෙරූ අයවැය පොරොන්දුවකට උදාහරණයක් ලෙස, ළමා පෝෂණ තත්ත්වය ඉහළ නැංවීමට රුපියල් මිලියන 500ක් වෙන් කිරීම - යන පොරොන්දුව ගෙනහැර දැක්විය හැකිය. 

මුදල් අමාත්‍යාංශය වෙරිටේ රිසර්ච් වෙත දැනුම් දුන්නේ මෙම පොරොන්දුව ක්‍රියාත්මක කිරීමේ වගකීම ඇත්තේ සෞඛ්‍ය අමාත්‍යාංශයට බවය. ඒ අනුව, එම අමාත්‍යාංශය වෙත තොරතුරු දැනගැනීමේ ඉල්ලීමක් යොමු කරන ලදි. ඊට ලැබුණු ප්‍රතිචාරය වූයේ අදාළ මුදල් ඉල්ලා, මුදල් අමාත්‍යාංශයේ ජාතික අයවැය දෙපාර්තමේන්තුව වෙත ව්‍යාපෘති යෝජනාවක් යොමුකර ඇතත්, තවමත් මුදල් ලැබී නැති බවය. 

මෙම තොරතුරු වෙරිටේ රිසර්ච් සිදුකරන වසර අවසාන අයවැය පොරොන්දු සමාලෝචනයේ අන්තර්ගත කර ඇත. 2023 දෙසැම්බර් මස 31 වැනිදා දක්වා වන කාලය මෙම සමාලෝචනයෙන් ආවරණය කෙරෙන අතර, පවතින තත්ත්වය වැඩිදියුණු කරගත හැකි ආකාරයන් ද එයින් නිර්දේශ කරයි.

නිර්දේශයන්

දැනට පවතින තත්ත්වය වැඩිදියුණු කිරීම සඳහා නිර්දේශයන් කිහිපයක්ම එම සමාලෝචනයෙන් ඉදිරිපත් කරයි. ඒවායින් ප්‍රධාන 03ක් පහත පරිදි වේ. 

  • මුදල් අමාත්‍යාංශය  සහ පාර්ලිමේන්තු කමිටු වන රාජ්‍ය ගිණුම් පිළිබඳ කාරක සභාව (COPA) සහ රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාව (COPF) මගින් අයවැය ක්‍රියාත්මක කිරීම පිළිබඳ අධීක්ෂණය වැඩි දියුණු කිරීම. 

  • පොරොන්දු නියමාකාරයෙන් සකසා ඇති බව සහ ඉටු කළ හැකි බව සහතික කිරීමට අයවැය පොරොන්දු සැකසීමට යොදාගත් නිගමනයන් සහ විශ්ලේෂණයන් ඇතුළත් ලියකියවිලි ප්‍රසිද්ධ කිරීම. 

  • ප්‍රගාමීව තොරතුරු හෙළිදරව් කිරීම අරබයා තොරතුරු දැනගැනීමේ පනතේ දක්වා ඇති නියමයන් අනුගමනය කරමින් අයවැය සම්බන්ධ තොරතුරු කාලානුරූපීව අමාත්‍යාංශ වෙබ් අඩවිවල ප්‍රසිද්ධ කිරීම. 

විමසුමට ලක් කෙරුණු පොරොන්දු, වගකිව යුතු ආයතන සහ වෙනත් සොයාගැනීම් සම්බන්ධයෙන් දැනුවත් වීමට පහත සබැඳියෙන් PublicFianance.lk යටතේ වෙරිටේ රිසර්ච් පවත්වාගෙන යන Budget promises මාර්ගගත පුවරුව වෙත පිවිසෙන්න - https://dashboards.publicfinance.lk/budget-promises/ 

2024-06-13
0 අදහස්
ඔබේ අදහස් දක්වන්න