රාජ්‍ය මූල්‍ය දත්ත හා විශ්ලේෂණයන් සඳහා
නිදහස් හා විවෘත ප්‍රවේශය
data-chart
අයවැය විනිවිදභාවය - රටවල් 125 ක් අතරින් 80 වන ස්ථානය ශ්‍රී ලංකාවට

ජාතික අයවැය චක්‍රවල විනිවිදභාවය තක්සේරු කරන ලොව එකම දර්ශකය වන විවෘත අයවැය සමීක්ෂණයේ (OBS) 2023 සංස්කරණය අනුව, ශ්‍රී ලංකාව අයවැය විනිවිදභාවය සදහා වූ ලකුණු 100 න් ලකුණු 37 ක් ගෙන ඇත. අයවැය විනිවිදභාවය සදහා වූ ලකුණු අනුව ශ්‍රී ලංකාව රටවල් 125ක් අතුරින් 80 වන ස්ථානයට සහ දකුණු ආසියාවේ තුන්වන ස්ථානයටත් පත්ව ඇත.  

මෙම ලකුණු, මධ්‍යස්ථ ප්‍රගතියක් පෙන්නුම් කරන අතරම, ප්‍රධාන අයවැය ලේඛන ලබාගැනීමේ හැකියාව, කාලානුරූපීභව සහ සම්පුර්ණ බව ආදී කරුණු වලදී අඩුපාඩු පෙන්නුම් කරයි. මෙමගින්, රාජ්‍ය මූල්‍ය තොරතුරු සඳහා වඩා හොඳ මහජන ප්‍රවේශයක අවශ්‍යතාවය ඉස්මතු කරයි. 

අයවැය අධීක්ෂණය සහ මහජන සහභාගීත්වය ද විවෘත අයවැය සමීක්ෂණය (OBS) විසින් තක්සේරු කරන ලදී. අයවැය අධීක්ෂණය මගින් අයවැය චක්‍රයේදී පාර්ලිමේන්තුව සහ ජාතික විගණන කාර්යාලය (NAO) ඉටු කරන කාර්යභාරය සහ ඒවායේ අධීක්ෂණ සපයන ප්‍රමාණයන්ද විමසා බලයි. පාර්ලිමේන්තුවේ සහ ජාතික විගණන කාර්යාලයේ ඒකාබද්ධ ප්‍රයත්නය පිළිබිඹු කරමින් ශ්‍රී ලංකාව අයවැය අධීක්ෂණය වෙනුවෙන් ලකුණු 100 න් 63 ක් ලබා ගත් අතර, මෙහිදී ශ්‍රී ලංකාව ගෝලීය සාමාන්‍යය ඉක්මවා ගොස් ඇත. 

2012 වසරේ විවෘත අයවැය සමීක්ෂණය (OBS) තුළට අයවැය අධීක්ෂණය එක් කිරීමෙන් පසු ශ්‍රී ලංකාව, ප්‍රමාණවත් මට්ටමේ අධීක්ෂණයක් අත්පත් කරගත් පළමු අවස්ථාව මෙය වේ. ශ්‍රී ලංකාවේ විගණන අධීක්ෂණය ප්‍රමාණවත් නමුත්, ව්‍යවස්ථාදායක අධීක්ෂණය තවමත් සීමිත වන අතර, අයවැය චක්‍රය තුළට ශක්තිමත්,  ව්‍යාවස්ථාදායක මැදිහත්වීම් වල අවශ්‍යතාවය පෙන්නුම් කරයි. 

ශ්‍රී ලංකාවේ අයවැය  චක්‍රය තුළ,  මහජන සහභාගීත්වය කැපී පෙනෙන ලෙස අඩු වී ඇති අතර, මේ සදහා ශ්‍රී ලංකාව ලබාගෙන ඇත්තේ ලකුණු 100 න් 7 ක් පමණි. මෙම අවම අගයන් තුළින් පෙනීයන්නේ, පුරවැසියන්ට අයවැය සම්පාදනයේ සිට අධීක්ෂණ අදියර දක්වා, අයවැය චක්‍රයට සහභාගී වීමට අවම අවස්ථා පවතින බවයි. 

ආන්තික හා අවදානමට ලක්විය හැකි කණ්ඩායම් ඇතුළු සමාජයේ සියලු කොටස්වල අවශ්‍යතා සහ ප්‍රමුඛතා පිළිබිඹු කරන අයවැය ක්‍රියාවලියක් නිර්මාණය කිරීම සඳහා ඵලදායී මහජන සහභාගීත්වය අත්‍යවශ්‍ය වේ. අයවැය චක්‍රයේ සෑම අදියරකදීම මහජන සහභාගීත්වය සඳහා විධිමත් යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීම, ප්‍රජාවේ ක්‍රියාකාරී සහභාගීත්වය දිරිමත් කිරීම රජයට ඉතා වැදගත් වේ. 

පවතින අර්බුදයෙන් ගොඩ ඒමට සහ තිරසාර වර්ධනයක් ළඟා කර ගැනීමට නම්, ශ්‍රී ලංකාව සිය රාජ්‍ය මූල්‍ය කළමනාකරණ (PFM) පද්ධතිය ශක්තිමත් කළ යුතුය. අයවැය විනිවිදභාවය, අධීක්ෂණය සහ අයවැය චක්‍රයේ මහජන සහභාගීත්වය ඵලදායී රාජ්‍ය මූල්‍ය කළමනාකරණයෙහි (PFM) තීරණාත්මක සංරචක වේ. පනවනු ලබන රාජ්‍ය මූල්‍ය කළමනාකරණ (PFM) ප්‍රතිසංස්කරණවල තිරසාරභාවය සහතික කිරීම සඳහා මෙම ක්ෂේත්‍රවල වැඩි දියුණු කළ කාර්ය සාධනය අත්‍යවශ්‍ය වේ. විශේෂයෙන්ම ශක්තිමත් සහ විනිවිද පෙනෙන මූල්‍ය කළමනාකරණයක් අවශ්‍ය වන සැලකිය යුතු ආර්ථික අභියෝගවලට රට මුහුණ දී සිටින බැවින්, විවෘත අයවැය සමීක්ෂණයේ මෑත කාලීන සොයාගැනීම්, මෙම අඩුපාඩු මඟහරවා ගැනීමේ වැදගත්කම අවධාරණය කරයි. 

විවෘත අයවැය සමීක්ෂණය යනු මධ්‍යම රජයේ අයවැය තොරතුරු සඳහා මහජන ප්‍රවේශය, මහජන සහභාගීත්වය සඳහා ඇති අවස්ථා සහ අයවැය අධීක්ෂණ ආයතනවල කාර්යභාරය තක්සේරු කරන ලොව එකම ස්වාධීන, සංසන්දනාත්මක සහ කරුණු පදනම් කරගත් පර්යේෂණ මෙවලමයි. රජයන් තම අයවැය ක්‍රියාවලීන් කළමනාකරණය කරන්නේ කෙසේද සහ හෙළිදරව් කරන්නේ කෙසේද යන්න පිළිබඳ පුළුල් ඇගයීමක් සැපයීම සඳහා එය ජාත්‍යන්තරව පිළිගත් නිර්ණායක භාවිතා කරයි. 

2023 විවෘත අයවැය සමීක්ෂණ (OBS) වාර්තාව ශ්‍රී ලංකාවේ අයවැය විනිවිදභාවය සහ අධීක්‍ෂණයේ යම් ප්‍රගතියක් ඉස්මතු කරන අතරම, එය විශේෂයෙන් මහජන සහභාගීත්වයේ සැලකිය යුතු අභියෝග ද පෙන්වා දෙයි. විනිවිදභාවය, වගවීම සහ සියල්ලන් ඇතුළත් පාලන රාමුවක් පෝෂණය කිරීම සඳහා මෙම අංශ වැඩිදියුණු කිරීම ඉතා වැදගත් වේ. 

ශ්‍රී ලංකාව සඳහා වන සම්පූර්ණ සාරාංශ වාර්තාව වෙත ඔබට මෙතැනින් ප්‍රවේශ විය හැක: https://internationalbudget.org/open-budget-survey/country-results/2023/sri-lanka

2024-07-31
0 අදහස්
ඔබේ අදහස් දක්වන්න