දකුණු සහ අග්නිදිග ආසියානු කලාපයේ රටවල් අතුරින් රාජ්‍ය අංශයේ සේවා නියුක්තිය ඉහළම රට වන්නේ ශ්‍රී ලංකාවයි. 2023 වර්ෂයේදී, මිලියන 8 ක් වූ ශ්‍රී ලංකාවේ සමස්ත ශ්රමබලකායෙන් 15% ක පිරිසක් (ආසන්න වශයෙන් මිලියන 1.16 ක ජනතාවක්) මධ්‍යම රජය, උපජාතික ඒකක සහ ආරක්ෂක හමුදාව ද ඇතුළත්ව රාජ්‍ය අංශයේ සේවයේ යෙදී සිටියහ. රාජ්‍ය සේවකයින්ගෙන් තුනෙන් එකක් ආරක්ෂක සහ මහජන ආරක්ෂාව යන දෙඅංශයේ සේවයේ නියුතුව සිටීම මෙහිදී සැලකිය යුතු කරුණකි.
ශ්‍රී ලංකාව හා සමාන ආර්ථික ව්‍යුහයක් පවතින මෙම කලාපයේ අනෙකුත් රටවල රාජ්‍ය සේවයේ නියුතු වන්නේ ශ්‍රී ලංකාවට සාපේක්ෂව අඩු සේවක සංඛ්‍යාවකි. නිදසුනක් වශයෙන්, ඉන්දියාව තම ශ්‍රම බලකායෙන් 9% ක් ද, වියට්නාමය 8% ක් ද, බංග්ලාදේශය 5% ක් පමණක් ද රාජ්‍ය අංශයේ සේවය සඳහා බඳවා ගෙන තිබේ.
රාජ්‍ය අංශයේ සේවකයින් හට සාපේක්ෂව අඩු වැටුපක් හිමි වුව ද රාජ්‍ය අංශය සඳහා රජයට අධික පිරිවැයක් දැරීමට සිදු වීමට ඉහත කරුණ හේතු වී ඇත. 2023 වර්ෂයේදී ශ්‍රී ලංකා රජය රුපියල් බිලියන 940 ක්–එනම්, රජයේ පුනරාවර්තන වියදමින් 20% ක් සහ ආදායමින් 31% ක්–රාජ්‍ය අංශයේ වැටුප් සඳහා වැය කර ඇත. පසුගිය දශකය තුළ රජයේ වියදම්වලින් සාමාන්‍යයක් ලෙස 23% ක් වැටුප් සඳහා යොමු කර ඇති අතර, ඒ හේතුවෙන් සෞඛ්‍ය සේවා, අධ්‍යාපනය සහ යටිතල පහසුකම් වැනි වැදගත් ක්ෂේත්‍ර සඳහා වෙන් කළ හැකි අරමුදල් සීමා වී ඇත.
සටහන
මිලියන 5 ට වැඩි ජනගහනයක් සහිත දකුණු සහ අග්නිදිග ආසියාතික රටවල් පදනම් කර ගනිමින් මෙම විශ්ලේෂණය සිදු කර ඇත. මෙම විශ්ලේෂණයේදී රැකියාවන්ට අදාළව එක් එක් රටක් සඳහා පවතින වඩාත්ම මෑතකාලීන දත්ත භාවිතා කර ඇත. ශ්‍රී ලංකාව සඳහා 2023 වර්ෂයේ දත්ත භාවිතා කර ඇති අතර නේපාලය (2017) සහ ඉන්දියාව (2019) හැරණු කොට අනෙකුත් රටවල් සඳහා 2021 වර්ෂයේ දත්ත භාවිතා කර ඇත.
මූලාශ්‍ර
ශ්‍රී ලංකා මහ බැංකුව, 'මිල ගණන්, වේතන සහ සේවා නියුක්තිය', https://www.cbsl.gov.lk/en/statistics/statistical-tables/real-sector/prices-wages-employment [අවසන් වරට ප්‍රවේශය: 2024 නොවැම්බර් 19 වැනි දින].
ලෝක බැංකුව, 'ගෝලීය නිලතන්ත්ර දර්ශක', https://datacatalog.worldbank.org/search/dataset/0038132 [අවසන් වරට ප්‍රවේශය: 2024 නොවැම්බර් 19 වැනි දින].
ජාත්‍යාන්තර කම්කරු සංවිධානය, 'ILOSTAT දත්ත සමුදාය', https://ilostat.ilo.org/ [අවසන් වරට ප්‍රවේශය: 2024 නොවැම්බර් 19 වැනි දින].
පර්යේෂණය: ශාලෝමි ලියනගේ සහ අනුෂන් කපිලන්.
දත්ත සටහන: සදිනි ගල්හේන