රාජ්‍ය මූල්‍ය දත්ත හා විශ්ලේෂණයන් සඳහා
නිදහස් හා විවෘත ප්‍රවේශය
data-chart
පෙබරවාරි අවසන් වන විට IMF කැපවීම්වලින් 33%ක් 'ඉටු කිරීමට' ශ්‍රී ලංකාව අසමත් වී ඇත 'ඉටුකර නැති' කැපවීම් බොහෝමයක් ආණ්ඩුකරණය වැඩිදියුණු කිරීමට අදාළය

2024 පෙබරවාරි අවසානය වන විට, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් (IMF) වැඩසටහන යටතේ ඉටු කළ යුතු කැපවීම්වලින් 33%ක් සපුරාලීමට ශ්‍රී ලංකාව අසමත් වී ඇති බව වෙරිටේ රිසර්ච්හි ‘IMF මීටරයේ’  පෙබරවාරි යාවත්කාලීන කිරීම පෙන්වා දෙයි.

වෙරිටේ රිසර්ච් හි 'IMF මීටරය' හෙළිදරව් කරන්නේ ශ්‍රී ලංකාව IMF වැඩසටහන යටතේ ‘ඉටු නොකළ’ කැපවීම්වලින් බොහොමයක් ආණ්ඩුකරණය ඉහළ නැංවීමට අදාළ බවයි. තොරතුරු ප්‍රකාශයට පත් කිරීම (විනිවිදභාවය) සහ ආණ්ඩුකරණය වැඩිදියුණු කිරීම අරමුණු කරගත් නීති සම්මත කිරීමට අදාළ කැපවීම් ද  මේ  අතර තිබේ.  

දුර්වල ආණ්ඩුකරණයක් පැවතීම  ශ්‍රී ලංකාවට බලපා ඇති ආර්ථික අර්බුදයේ කේන්ද්‍රීය සාධකයක් ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හඳුනාගෙන ඇත. එසේම ආණ්ඩුකරණය සම්බන්ධයෙන් ඇගයීමක් සහිත වාර්තාවක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ප්‍රකාශයට පත්කළ පළමු ආසියාතික රට වන්නේ ද ශ්‍රී ලංකාවයි.

කැපවීම් වලින් 36% ක තත්ත්වය 'නොදන්නා' ලෙස වර්ගීකරණය කර ඇති අතර, එයින් අදහස් කරන්නේ ඒවායේ ප්‍රගතිය තක්සේරු කිරීම සඳහා ප්‍රමාණවත් දත්ත ලබා ගත නොහැකි බවයි.  පෙබරවාරි මස අවසන් වන විට, කැපවීම්වලින් 31% ක් 'ඉටු කර' ඇති බව සනාථ කළ හැක.

IMF වැඩසටහන යටතේ දෙවන වාරිකය නිකුත් කිරීම සිදු කරන ලද්දේ  2023 දෙසැම්බර් මාසයේදීය. දෙවන වාරිකයෙන් පසුව යාවත්කාලීන කරන ලද එකඟතාවයට අනුව.  පෙබරවාරි මස අවසානය වන විට ශ්‍රී ලංකාව කැපවීම් 45ක් ඉටු කිරීමට නියමිතව තිබුණි.  ‘IMF මීටරය’ මෙම කැපවීම් 45න්, 14 ක් (31%) 'ඉටු කළ' කැපවීම් ලෙසත්, 15 (33%) 'ඉටු නොකළ' කැපවීම් ලෙසත්, 16 (36%) ප්‍රගතිය 'නොදන්නා' කැපවීම් ලෙසත් වර්ගීකරණය කර ඇත.  

 

'ඉටු නොකළ' කැපවීම් 15න්,  හයක් තොරතුරු ප්‍රකාශයට පත් කිරීම නොහොත් විනිවිදභාවය සම්බන්ධයෙන් වන කැපවීම් වේ. හතරක් නව නීති සම්මත කර ගැනීමට අදාළ ක්‍රියාමාර්ග වේ. ඒවා නම් (අ) බැංකු පනත සඳහා පාර්ලිමේන්තු අනුමැතිය ලබා ගැනීම; (ආ) උද්ධමනයට ගැළපෙන අයුරින් ස්වයංක්‍රීයව සුරාබදු සංශෝධයන කෙරෙන සුත්‍රයක් හඳුන්වා දීම; (ඇ) ණය කළමනාකරණ ආයතනයක් පිහිටුවීම සඳහා නීති වෙනස් කිරීම ; සහ (ඈ) රාජ්‍ය මූල්‍ය කළමනාකරණ නීතිය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමය. 2022 සැප්තැම්බර් මාසයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩල මට්ටමේ ගිවිසුමට ඇතුළත් කර තිබියදීත් ආණ්ඩුකරණ ගැටළු විසඳීම අරමුණු කරගත් මෙම ක්‍රියාමාර්ග හතර ඉටු කිරීම 2024 පෙබරවාරි මස අවසන් වන විටත් අතපසු කර ඇත.

 

IMF මීටරය යනු ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක 17 වැනි IMF වැඩසටහන ආරම්භයේ දී හඳුනාගත් කැපවීම් 100 නිරීක්ෂණය කළ පළමු සහ එකම වේදිකාව වේ. ඒ සඳහා වෙරිටේ රිසර්ච් හි IMF Tracker – Manthri.lk හා manthri.lk වෙබ් අඩවිය තුළින් මහජනතාවට ප්‍රවේශ විය හැකිය.

2024-03-14
0 අදහස්
ඔබේ අදහස් දක්වන්න