රාජ්‍ය මූල්‍ය දත්ත හා විශ්ලේෂණයන් සඳහා
නිදහස් හා විවෘත ප්‍රවේශය
data-chart
ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පතේ ප්‍රාථමික ශේෂය සඳහා පනවා ඇති 2.3% ක ඉලක්කය: පසුගිය වසර 74 තුළ එක් වරක් පමණක් සපුරා ඇති ඉලක්කයක් ශ්‍රී ලංකාවට සාර්ථකව සාක්ෂාත් කර ගත හැකි ද?

මෑතකදී සම්මත කර ගන්නා ලද ආර්ථික පරිවර්තන පනත (Economic Transformation Act - ETA) මගින් ඉදිරි වසරවලදී සාක්ෂාත් කර ගත යුතු රජයේ මූල්‍ය කළමනාකරණයට අදාළ ඉලක්ක පහක් දක්වා ඇත. පහත සඳහන් කර ඇති එම ඉලක්ක, මූල්‍ය විනය සහතික කිරීම සහ ආර්ථික අර්බුදයක් නැවත ඇති වීම වැළැක්වීම අරමුණු කර ගෙන ඇත. 

  • ප්‍රාථමික ශේෂය සඳහා ඉලක්කයක්:  ආර්ථික පරිවර්තන පනතෙහි 4 (උ) වගන්තියෙහි සඳහන් වන්නේ ප්‍රාථමික ශේෂය 2032 වන තෙක් දළ දේශීය නිෂ්පාදිතයෙන් 2.3% ක් ලෙසත්, 2032 න් පසු දළ දේශීය නිෂ්පාදිතයෙන් 2% ක් ලෙසත් පවත්වා ගත යුතු බවයි. (ප්‍රාථමික ශේෂය යනු රජයේ ආදායම සහ එහි පොලී හැර වියදම් අතර වෙනසයි). 

  • රජයේ ආදායම් ඉලක්කය: 2027 වර්ෂයෙන් ඉදිරියට රජයේ ආදායම දළ දේශීය නිෂ්පාදිතයෙන් අවම වශයෙන් 15% ක මටටමක් දක්වා හෝ ළඟා විය යුතු බව 4 (ඌ) වගන්තයෙන් දැක්වේ.  

  • රජයේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ඉලක්ක: 3 (1) (අ) (i), (ii) සහ (iii) වගන්තිවල සඳහන් වන්නේ 2032 වර්ෂය වන විට සහ ඉන් පසුව රාජ්‍ය ණය සහ දළ දේශීය නිෂ්පාදිතය අතර අනුපාතය 95% ට වඩා අඩු විය යුතු බවයි. මධ්‍යම රජයේ වාර්ෂික දළ මූල්‍යන අවශ්‍යතා සහ දළ දේශීය නිෂ්පාදිතය අතර අනුපාතය 2032 වන විට 13% ට වඩා අඩු විය යුතුය.  2027 වන විට සහ ඉන් පසුව දළ දේශීය නිෂ්පාදිතය සහ විදේශ ව්‍යවහාර මුදල්වලින් මධ්‍යම රජය වාර්ෂිකව සිදු කරනු ලබන ණය සේවාකරණය අතර අනුපාතය 4.5% ට වඩා අඩු විය යුතුය.   

2025 වසරේ සිට ආර්ථික ප්‍රතිපත්ති විෂය භාර අමාත්‍යවරයා විසින් මෙම ඉලක්ක ක්‍රියාත්මක කිරීම සඳහා ප්‍රතිපත්ති රාමුවක් සහ උපාය මාර්ග ඉදිරිපත් කළ යුතුය. මීට අමතරව, ඉලක්ක සපුරා ගැනීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග විස්තර කෙරෙන වාර්ෂික වාර්තාවක් ද සෑම වසරකම මාර්තු 31 වන විට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතුය. මෙම ඉලක්ක සපුරා ගෙන නොමැති නම්, ඒ සඳහා ගනු ලබන පිළියම් සහ ඉලක්ක සපුරා ගැනීම සඳහා අවශ්‍ය කාලසීමාවන් ද වාර්තාවෙහි සඳහන් කළ යුතුය.    

කෙසේ වෙතත්, ප්‍රාථමික ශේෂය සඳහා වන 2-2.3% ක ඉලක්කය, ශ්‍රී ලංකාව මෙතෙක් සත්‍ය වශයෙන්ම වාර්තා කර ඇති අගයන්ට සාපේක්ෂව පෙර නොවූ විරූ ලෙස ඉහළ මට්ටමක පිහිටුවා ඇත.  ශ්‍රී ලංකාව පසුගිය වසර 74 තුළ මෙම ඉලක්කය සපුරා ගෙන ඇත්තේ එක් වරක් පමණි. එනම්, 1955 දී, ප්‍රාථමික ශේෂය දළ දේශීය නිෂ්පාදිතයෙන් 2.8% ක් විය. එමෙන්ම, ඉතිහාසය තුළ රජය විසින් ධන ශේෂයක් අත් කර ගෙන ඇත්තේ හය වතාවක් පමණි: එනම්, 1954, 1955, 1992, 2017, 2018 සහ මෑතකදී, 2023 දී ය. 

මීට පෙර, 2003 අංක 3 දරන රාජ්‍ය මූල්‍ය කළමනාකරණ (වගකීම්) පනතේ (Fiscal Management (Responsibility) Act - FMRA) ද එවැනි සීමාවක් ඇතුළත් කර  තිබිණ. 2006 සිට අයවැය හිඟය දළ දේශීය නිෂ්පාදිතයෙන් 5% ක අගයක් නොඉක්මවිය යුතු බව එමගින් නියම කරන  ලදි. එනමුත්, රජය සෑම වසරකදීම එම සීමාව සපුරාලීමට අපොහොසත් විය. මේ පිළිබඳ වැඩි විස්තර සඳහා රාජ්‍ය මූල්‍ය කළමනාකරණ (වගකීම) පනතට අනුව කටයුතු නොකිරීම වගකීම් විරහිත බව පිළිබඳව කරන ප්‍රදර්ශනයක් වන ආකාරය විස්තර කෙරෙන අපගේ බ්ලෝග් සටහන කියවන්න.  

එබැවින්,  අතීතයේ කලාතුරකින් පමණක් සාක්ෂාත් කර ගෙන ඇති එවැනි ඉලක්කයක් හඳුන්වා දීම මගින් රාජ්‍ය මූල්‍ය විනය යථා තත්ත්වයට පත් කිරීමේ මෙම ඉලක්කය රජයට සාක්ෂාත් කරගත හැකි වේ ද, නැතහොත්  එය රාජ්‍ය මූල්‍ය කළමනාකරණ (වගකීම්) පනතේ සීමාව මෙන්ම උල්ලංඝනය කරනු ලැබෙන තවත් එක් සීමාවක් වනු ඇත් ද යන ප්‍රශ්නය මෙමගින් මතු කෙරේ.   

මූලාශ්‍ර 

2024 මැයි මස නිකුත් කරන ලද අංක 45/2024 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය http://www.documents.gov.lk/files/act/2024/8/45-2024_E.pdf [අවසන් වරට ප්‍රවේශය 2024 අගෝස්තු 16]  

ශ්‍රී ලංකා මහ බැංකුව, "විශේෂ සංඛ්‍යාලේඛන පරිශිෂ්ටය," වාර්ෂික වාර්තාව 2023, https://www.cbsl.gov.lk/sites/default/files/cbslweb_documents/publications/aer/2023/en/19_Special_Statistical_Appendix.pdf හි [අවසන් වරට ප් රවේශය 2024 අගෝස්තු 16] 

2024-08-27
0 අදහස්
ඔබේ අදහස් දක්වන්න