රාජ්‍ය මූල්‍ය දත්ත හා විශ්ලේෂණයන් සඳහා
නිදහස් හා විවෘත ප්‍රවේශය
data-chart
2016 අයවැයෙහි අධ්‍යාපනය සහ සෞඛ්‍යය: රාජ්‍ය පාලනය ගැන සුභ පෙරනිමිති නොකියන මහා පොරොන්දු

අයවැයේදී සිත් ඇදගන්නා පොරොන්දු දීම ආණ්ඩුවල පුරුද්දකි. රැකීම කොයි හැටි වෙතත් පොරොන්දු දීම හරිම ලේසි කටයුත්තක් බව අයවැය අතීතය අපිට පෙන්වා දී ඇත. දැන් පවතින ආණ්ඩුවට තමන්ගේ අයවැය පොරොන්දු රැකගන්නට හැකියාවක් ලැබෙනු ඇත්තේ ද  ඉලක්ක කරගත් බදු ආදායම් වැඩි කරගන්නට ඇති හැකියාවත්, කියා තිබෙන ලෙසම සැබෑ අත්‍යාවශ්‍ය වියදම් සමග රැඳෙන්නට ඇති හැකියාවත් මත ය. රකින්නට බැරි බව පෙනෙන පොරොන්දු රාජ්‍ය පාලනය ගැන නම් සුභ පෙරනිමිති නොකියනු ඇත.

වෙරිටේ පර්යේෂණ ආයතනය මගින් අයවැය පිළිබඳ කරන ලද විශ්ලේෂණ මගින් ගෙවී ගිය වසරවල ඒ ඒ අංශවලට අයවැයෙන් වෙන් කළ ප්‍රතිපාදන සහ සැබෑ වියදම් අතර සැළකිය යුතු වෙනසක් ඇති බව පෙණිනි. බදු ආදායම් අඩු වන අවස්ථාවලදී අයවැය හිඟය මග හරවා ගැනීම සඳහා වියදම් කපා දමන අවස්ථාවල ‘සඳහන් කරන‘ ප්‍රමුඛතාවන්ට වඩා වෙනස් විය හැකි රජයේ ‘සැබෑ‘ ප්‍රමුඛතාවන් හෙළිදරව් වෙයි.

අධ්‍යාපනය සහ සෞඛ්‍යය යනු, 2016 අයවැයේ වන පැහැදිලි “සඳහන් කරන ප්‍රමුඛතාවක්” වන අතරම මෙය රාජ්‍ය ප්‍රතිපත්තියේ වැදගත් වෙනසක් ද වේ. පුනරාවර්තන වියදම්වලට (වේතන සහ පරිභෝජන භාණ්ඩ) වඩා වැඩිපුර අමතර වැයක් ප්‍රාග්ධන වියදම් (උදා: ගොඩනැගිලි සහ උපකරණ) සඳහා දරන බව මෙවර අයවැය හෙළි කරයි. 2016 අයවැය අධ්‍යාපනය හා සෞඛ්‍යය සඳහා වන ප්‍රාග්ධන වියදම 120%ක වර්ධනයක් දක්වමින්, රුපියල් බිලියන 210ක් දක්වා ඉහළ නැංවීමට මහා පොරොන්දුවක් දී ඇත.

පළමු මාස නවය තුළ මෙම ආණ්ඩුවේ වියදම් තුළින් පෙනී යන ප්‍රමුඛතා දෙස බැලීමේදී  සත්‍ය ලෙසම ඔවුන් “සඳහන් කරන ප්‍රමුඛතා” ක්‍රියාත්මක කිරීමට කැපවී සිටීද යන සැකය පැන නගී. මෙය රාජ්‍ය පාලනය පිළිබඳ ගැටළුවකි.

ජනප්‍රිය ඉල්ලීම් පොරොන්දු සාදයි

දිගු කලක් තිස්සේ දායකත්වය ලැබෙන හා සමාජ අපේක්ෂාව ද වන නොමිල නිදහස් අධ්‍යාපනය හා සෞඛ්‍ය සේවාව නිසා අධ්‍යාපනය සහ සෞඛ්‍යය යනු ශ්‍රී ලාංකික සමාජ වැයෙහි ප්‍රධාන අංගයක් වේ. පසුගිය රජය යටතේ අධ්‍යාපනය හා සෞඛ්‍ය සඳහා කරනු ලබන වියදම දළ ජාතික නිෂ්පාදනයෙන් කොටසක් වශයෙන් දිගින් දිගටම පහළ යන වියදමක් බවට පත්වූ නමුත් (පළමු රූප සටහන බලන්න); විශ්වවිද්‍යාල ආචාර්යවරු මෙහෙය වූ, අධ්‍යාපනය සඳහා වෙන් කරන වියදම් පිළිබඳ ඉල්ලීම් රැගත් විරෝධතා ව්‍යාපාරයෙන් පසු මෙම නොසළකා හැරීමේ ප්‍රතිපත්තිය අනිත් අතට හැරෙන්නට පටන් ගත්තේ ය.

2014 දී, පැවති රජය සෞඛ්‍යය හා අධ්‍යාපනය සඳහා වන ප්‍රාග්ධන වියදම 32%කින් ඉහළ දමමි න්රුපියල් බිලියන 74ක් ඒ සඳහා වෙන් කළ අතර ඊට වඩා තරමක් වැඩි ප්‍රමාණයක්, එනම් රුපියල් බිලියන 78ක් ඒ සඳහා වියදම් කළේ ය. 2014 නොවැම්බරයේදී ප්‍රකාශ කළ 2015 අයවැයේදී එය 54%කින් වැඩි කරමින් රුපියල් බිලියන 120ක් දක්වා ඉහළ දැමීමට රජය පොරොන්දු විය. මෑත දී නිමාවූ ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයේ මෙන්ම වත්මන් ජනාධිපතිවරයාගේත් ප්‍රධානතම හා ජනප්‍රියම පොරොන්දුව බවට පත්ව තිබුණේ අධ්‍යාපනය හා සෞඛ්‍යය සඳහා වන වියදම් ඉහළ නැංවීමයි. එම පොරොන්දු යළිත් 2015 මහ මැතිවරණයේදී ද එක් එක් පක්ෂවල ප්‍රචාරක රැස්වීම්වලදී ප්‍රතිරාව නැගෙනු දකින්නට ලැබිණි. නොවැම්බරයේ  ගෙන ආ අගමැතිවරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ දී ද යෝජනා කර තිබුණේ උසස් තත්වයේ අධ්‍යාපන හා සෞඛ්‍යය මට්ටම් වෙත ළඟා වීමට ඇති හැකියාව ඉහළ නැංවීම රජයේ සංවර්ධන ප්‍රතිපත්ති සැලසුමෙහි ප්‍රධාන ප්‍රතිෂ්ඨාවක් වනු ඇති බවයි.

මෙම පොරොන්දුව ආරක්ෂා කරමින් 2016 අයවැය අධ්‍යාපනය හා සෞඛ්‍යය සඳහා තවදුරටත් ප්‍රාග්ධන වියදම ඉහළ නංවමින් (120%ක් පමණ) රුපියල් බිලියන 210ක් ඒ සඳහා වෙන් කර ඇත.

මූලාශ්‍රය- විවිධ වසරවල අයවැය ප්‍රකාශ   (P – තාවකාලික B – අයවැයෙන්)

සෞඛ්‍ය හා අධ්‍යාපන පොරොන්දුවල අලුත්ම පැහැරහැරීම්

2015 ජනවාරියේ නව රජය විසින් ගෙන එන  ලද අතුරු අයවැය අධ්‍යාපනය හා සෞඛ්‍යය සඳහා වන ප්‍රාග්ධන වෙන්කිරීම් කඩිමුඩියේම ඉහළ නැංවීමක් නොකළ ද, 2014 නොවැම්බරයේ අයවැය තුළින් යෝජනා වී තිබුණ 55%ක වැඩිකිරීමක එසේම පවත්වාගෙන යාමට පොරොන්දු විය.  කෙසේ නමුත්, 2015 වසරේ සැබෑ වියදම් දෙස බලන විට පෙනී යන්නේ රජය මෙම පොරොන්දු පැහැර හැර ඇති බවයි.

අයවැය මගින් රුපියල් බිලියන 121ක් දක්වා තිබුණ ද වසරේ සැබෑ වියදම වී තිබුණේ රුපියල් බිලියන 98ක් පමණි. එය පොරොන්දු 55%ක ප්‍රමාණය නොව 26%ක වැඩිවීමක් පමණි ( පළමු රූ සටහන බලන්න) මෙය මුදල් හිඟකම නිසා සිදුවන්නක් නොව සැබෑ හා පෙන්වා දෙන ප්‍රමුඛතාවන් අතර නිසි ගැලපීමක් ඇති කර නොගැනීම නිසා ඇති වන්නක් බව පැහැදිලි වන්නේ මුළු ප්‍රාග්ධන වියදම අයවැය මගින් ගණනය කර තිබුණු රුපියල් බිලියන 520ක ඉලක්කයටම පැමිණෙමින් රුපියල් බිලියන 517ක අගයක් ගෙන ඇති බැවිණි. 2015 ජනවාරියේදී අධ්‍යාපනය හා සෞඛ්‍යය රජයේ “ප්‍රමුඛතා සඳහන“ ලෙස කියවුණ ද, වෙනත් ක්ෂේත්‍ර සඳහා වන ප්‍රාග්ධන වියදම් පෙරමුණට පැමිණ අධ්‍යාපනය හා සෞඛ්‍යය වන වියදම් කප්පාදුවකට මුහුණ දී ඇත.

බදු හිඟයත් පැහැර හැරීම්වලට මගකි

2016 අයවැයේදී ද යළි මුණගැසෙන, බදු ආදායම් වැඩිකර ගැනීම පිළිබඳ ඇස්තමේන්තුකිරීම් සුන්දර එනමුත් යථාර්ථවාදී නොවන අතීත අත්දැකීම් මතකයට නගයි. මෙවර බදු ආදායම් වැඩිකරගැනීමේ ඉලක්කය වන්නේ 38%ක අගයකි.

බදු ඉලක්ක සපුරාගත නොහැකි වන විට අයවැය හිඟය ඉහළ නගී. එම හිඟය මගහරවාගත හැක්කේ වියදම් කපා හැරීමෙනි. එවිට, සඳහන් කළ නොව රජයේ සැබෑ ප්‍රමුඛතාවන් විමසා බලමින් වියදම් කපා හැරීමට ඇති තැන් සොයාගැනීමට සිදු වේ.

උදාහරණයක් ලෙස, පැවති රජය සිය ප්‍රමුඛතාව ලෙස කෘෂිකර්මය හා ජල සම්පාදනය හඳුනාගෙන තිබිණි. 2010 සහ 2013 වසර අතර කාලය තුළ මෙම ක්ෂේත්‍ර සඳහා අයවැය වෙන්කිරීම් බිලියන 75ක සිට බිලියන 111 දක්වා ඉහළ නැංවීම මගින් මේ බව සනාථ කර ඇත.  නමුත් සැබෑ වියදම් හෙළිදරව් කරන්නේ එහි විලෝමයයි. බදු ආදායම් ලැබීම දිගින් දිගටම පහළ අගයක් ගනිද්දී කෘෂිකර්මය හා ජල සම්පාදනය සඳහා 2010 වසරේ වියදම වන්නේ, වෙන්කර තිබුණු  බිලියන 75 නොව, බිලියන 69කි. එමෙන්ම, 2013 දී එය බිලියන 111ක් දක්වා ඉහළ දැමීම වෙනුවට සැබෑ වියදම බිලියන 65ක් දක්වා පහත දැමෙනු ලැබේ. බිලියන 77ක් වන, 2012 වසරේදී සිදුකරන ඉහළම වියදම ද එම වසරේ සැබෑ අයවැය පොරොන්දුව වුණු බිලියන 103ට වඩා විශාල වෙනසක් පෙන්වන අගයකි. කෙසේ නමුත්, කෘෂිකර්මය හා ජල සම්පාදනය සඳහා වන වියදම් උග්‍ර ලෙස කපා හැරෙද්දී ආරක්ෂක වියදම් නිර්දේශිත ප්‍රමාණ තුළම රැඳෙන්නේ සැබෑ ප්‍රමුඛතා අයවැය තුළ සඳහන් කරන දේ හා සමග සමපාත නොවන බව සනාථ කරමිනි.  

රාජ්‍ය පාලනය සඳහා දුර්වල බහාලුම්

2015 අයවැය පොරොන්දු පැහැර හැරීම් සැළකිල්ලට ගැනීමේදී පෙනී යන්නේ, පැවති ආණ්ඩුව කෘෂිකර්මය හා ජල සම්පාදනය හමුවේ කටයුතු කළ ආකාරයට සමානව මෙවර ආණ්ඩුව අධ්‍යාපනය හා සෞඛ්‍යය හමුවේ සුපුරුදු තැටියම වාදනය කිරීමේ තර්ජනයක් පවතින බවයි. අයවැය මගින් යෝජනා කරන බදු ආදායම් පිළිබඳ සුන්දර සිහින බිඳ වැටෙද්දී, සැමවිටම සිදුවන ලෙස ප්‍රාග්ධන වියදම පීඩනයකට මුහුණ දෙනු ඇත. එසේ සිදුවන්නේ ප්‍රත්‍යාවර්තන වියදම් අඩු කිරීම (උදා: වේතන ගෙවීම සිදු කළ යුතුම බැවින්) අපහසු කරුණක් බැවිනි. එහෙයින් ඉහළ අගයකින් නැංවූ ප්‍රාග්ධන වියදම් කප්පාදු කිරීමකට මුහුණ දීමට සිදුවනු ඇත.

අධ්‍යාපනය හා සෞඛ්‍යය හා බැඳුණු නව යෝජනාවලින් 80%කට වඩා ප්‍රමාණයක් ප්‍රාග්ධන වියදම් හා බැඳේ. මෙය, දැනටමත් රජයේ ප්‍රශ්නකාරී ප්‍රමුඛතාවක් වන්නේ දුෂ්කර යටිතල පහසුකම්වලට වඩා නව රජය  මෘදු-යටිතල පහසුකම් පිළිබඳ ප්‍රමුඛතාවයක් දී කතා කරන හෙයිනි. 2015 වසරේ පැහැර හැරීම් මෙන්ම 2016 සඳහා වන ඕනෑවටත් වඩා කැපී පෙනෙන මහා පොරොන්දුව ද යෝජනා කරන්නේ මෙම ප්‍රමුඛතාව වුව ද යළි සම්මුතිගත වීමකට ඉඩ ඇති බවයි.

පූර්ව නිදසුන් අපට පෙන්වා දී ඇත්තේ අයවැය යනු  මුදල් පිළිබඳව නොව රාජ්‍ය පාලනය පිළිබඳ වැදගත් සාධකයක් බවයි. වත්මන් ආණ්ඩුව විසින් ගෙන ආ වැදගත්ම පොරොන්දුව රාජ්‍ය පාලනයේ ධනාත්මක වර්ධනයක් ඇති කරන බවයි, මෙම පොරොන්දුව සුරැකීමට තමන් කෙතරම් දුරට ක්‍රියාත්මක වන්නේ ද යන්න මත ආණ්ඩුවේ ආයුෂ රැඳී පවතිනු ඇත. අයවැය පොරොන්දු හා සැබෑ වියදම් අතර වෙනස අවම කර ගැනීම දියුණු රාජ්‍යපාලනයක මහා පොරොන්දු රැකගැනීමට අත්‍යාවශ්‍ය සාධකයකි.  

2015-11-30
0 අදහස්
ඔබේ අදහස් දක්වන්න